බිත්තරයෙන් මතුවන යථාර්ථය!

බිත්තරයෙන් මතුවන යථාර්ථය!
වර්තමානයේ ශ්රී ලංකාව තුළ කාලීන මාතෘකාවක් වන බිත්තරය සම්බන්ධයෙන් කල්පනා කරනවිට, බිත්තරය ඇසුරෙන් ද ජීවිතය පිළිබඳව දාර්ශනිකව සහ ධර්මානුකූලව සාකච්ඡා කිරීමට අදහසක් පහළවිය.
එලෙසම බිත්තරය, සංකල්පයක් වශයෙන් බොහෝ දාර්ශනිකයන් විසින් විවිධ දර්ශනයන් ඉදිරිපත් කිරීම සඳහා ද යොදා ගෙන ඇති නිසාත්, බුද්ධ දර්ශනය තුළ ද ජීවිත අවබෝධය පිණිස විවිධ රූපක, උපමා භාවිතා කර ඇති නිසාත්, මෙම ලිපිය සම්පාදනය කිරීම කාලෝචිත බව වැටහුණි.
මිනිසාගේ ප්රමුඛ කුතුහලය වූ ලෝකයෙහි ආරම්භය පිළිබඳ අතීත දාර්ශනිකයන් විසින් විවිධ අදහස් ඉදිරිපත් කර ඇත.
ක්රිස්තු වර්ෂ වූ පළමු සියවසේදී දී පහළ වූ ප්ලූටාර්ච් නම් ග්රීක දාර්ශනිකයා විසින් ඉදිරිපත් කරනු ලැබූ "කිකිළිය සහ බිත්තරය ගේ" ප්රශ්නය, එකල බොහෝ දෙනාගේ තර්කයට පාත්ර වූ අදහසකි. මුලින්ම බිහි වූයේ කිකිළියද බිත්තරයද යන්න සිතීමේදී අසීමාන්තික සහ නිශ්චිත පිළිතුරක් දිය නොහැකි අදහසක් පැනනගී. නමුත්, බුද්ධ දර්ශනය තුල ඉදිරිපත් කරන හේතු-ඵල දර්ශනය තුලින් මෙම තර්කය දෙස බැලීමේදී පැහැදිලි පිළිතුරක් ලබා ගැනීමට හැකියාව ඇත
එනම් ලෝකය වනාහි හේතු නිසා හටගන්නා ඵලයක් බවත් හේතු නැති කළ ලෝකය හටගත නොහැකි බවත්ය. (එනම් කිකිළිය හේතුවක් නම්, එම හේතුව තුළින් බිත්තරය නැමැති ඵලය හටගත හැකි බවයි. එලෙසම බිත්තර හේතුවක් නම් එම හේතුව තුළින් කිකිළිය නැමැති ඵලය හටගත හැකි බවයි. තවදුරටත්, කිකිළිය නැමැති හේතුව ප්රහීණ කිරීම මත බිත්තරය නමැති ඵලය හටනොගැනීම වෙයි. එලෙසම, බිත්තරය නැමැති හේතුව ප්රහීණ කිරීම මත කිකිළිය නමැති ඵලය හටනොගැනීම වෙයි.)
එනිසා බුද්ධ දර්ශනය තුල ලෝකය අවබෝධ කිරීම යනු ලෝකය හටගන්නා හේතු අධ්යනය කිරීමත්, එම හේතු ක්ෂය කිරීම වශයෙන් ලෝකයෙන් ඉවත්වීම සඳහා ක්රියාත්මක වීමත්ය.
බුද්ධ දර්ශනයෙන් මතුවන යථාර්තය එය වුවත්, ඉන් පරිබාහිරව ලෝකයේ සමයාන්තර දර්ශනයන් අධ්යනය කිරීමේදී, ඔවුන් දක්වන අදහසුත් පරිශීලනය කිරීම වටී. එලෙස, වේද දර්ශනය තුල ඉදිරිපත් කර ඇති බ්රහ්මඅණ්ඩ ("බ්රහ්මයාගේ බිත්තරය"/ "Cosmic Egg") දාර්ශනික මතයතුල ඔවුන් විශ්වාස කරන්නේ, සමස්ථ විශ්වය/ ලෝකය බ්රහ්මයාගේ බිත්තරයකින් නිර්මාණය වූ බවයි. ඊට සමාන අදහසක් පුරාන චීනයේ ආදීකල්පිකයක් වන "පන්ගු" ("pangu") නම් අදහස තුලද දක්වා ඇත. එහි සඳහන් වන පරිදි ලෝකය හටගැනීම බිත්තරයකින් බවත් එහි බිඳීම කොටස් දෙකකින් සිදුවන බවත්, එක භාගයක් අහස ලෙසත්, අනෙක් භාගය පොළව ලෙසත් නිර්මාණය වූ බව එහි විශ්වාසයයි. එලෙසම, අතීත ග්රීක සංකල්පයක් වන "ඕර්පික් බිත්තරය" (orphic egg), අදහස තුලද විශ්වයේ ආරම්භය බිත්තරයකින් බව දක්වා ඇත. මෙම සියලු දාර්ශනික සංකල්ප වල සංකේතාත්මකව බිත්තරය ඉදිරිපත් කිරීම, තුල ලෝකයේ ආරම්භක/කෙළවර ස්ථානයක් පිළිබඳව අදහසක් ලබාදීම සිදු කර ඇත. එය කොතෙක් දුරට තර්කයට ගොචරද යන්න විචාරය කළයුතුව ඇත.
නමුත්, බුද්ධ දර්ශනය තුල ලෝකය මන(සිත) මත නිර්මාණය වන්නක් ලෙස ඉදිරිපත් කර ඇති පසුබිමක, තර්කයට ගෝචරව විචාර බුද්ධියකින් ඒ දෙස බැලීම වටී. එනම් ලෝකය, තමන්ගේම සිත තුලින් උත්පාදනය කෙරන ප්රක්ශේපණයක්/ප්රතිබිම්බයක්/පිළිබිඹුවක් හෝ මිරිඟුවක් ලෙස තේරුම් ගැනීමට හැකිනම්, ලෝකයේ යථා ස්වභාවය, යථා අයුරින් දැක ගැනීමට ඉතාම පහසු වනු ඇත. එය ඉතා පහසු වන්නේ, ලෝකයේ කෙලවර හෝ ආරම්භය සෙවීම හුදෙක් තමන්ගේ සිත සෙවීම තුලින් කෙලවර කල හැකි නිසාය.
තමන්ගේ සිත සොයන මඟ තුල, සිතහි ස්වභාවය තුලම ගැබ්වී ඇත්තේ නොනවතින සෙවීමකි. අරමුණු වල රසය, වින්දනය, ආශ්වාදය, ප්රිය සෙවීම, එහි ප්රධාන දෝෂයයි. එය බුදුදහම තුල "තණ්හාව" ලෙස දක්වයි. තණ්හාව පුද්ගල විනාශයට, දුකට හේතුවන්නේ තණ්හා-දාස භාවයෙන් යුතුව නොනවතින අධික වින්දනය සෙවීමේ ක්රියාවලියක් නිසයි. "පාත්තයාගේ රත්තරන් බිත්තරය" අතීත ජනකථාව මෙයට කදිම උපහැරණයකි. දවසකට දමන රත්තරන් බිත්තරයෙන් සෑහීමකට නොවන නොනවතින සෙවීම, පාත්තයා මරා එකවර ලබාගැනීමේ ව්යර්ථ අනුවණ උත්සාහය දක්වා වර්ධනය වීම, ලාමක, ග්රාම, පෘතජ්ජන පුද්ගල සිතුවිලිකරණය මනාව ස්මතුකර පෙන්වයි.
සිතෙහි උමතු ස්වභාවය, ගැටෙන අරමුණු තුළදීත් එලෙසමයි! "පරදුක්ඛූපදානෙන අත්තනො සුඛමිච්ඡති
වෙරසංසග්ගසංසට්ඨො වෙරා සො න පරිමුච්චති." - (පකිර්ණක වග්ගය, ධම්මපදය) ඉහත ගාථාවේ නිදානය තුල ඉදිපත් කර ඇති, තම බිත්තරය ආහාරයට ගන්නා දැරිවියට වෛර කල කිකිළිය, දිනපතා දමන බිත්තරය සැමදා ආහාරයට ගැනීම නිසා, වෛරය, බද්ධ වෛරය බවටත්, එය භව 500ක් තිස්සේ ආත්ම භව තුල විවිධ පලිගැනීම් දක්වා දුරගිද ආකාරය කියවීම තුලම, සිතෙහි භයානක කම තේරුම් ගතහැකිය.
මෙලස දෝෂ සහිත, මෙල්ලනොවූ, අපිරිසිඳු තම සිත කෙසේනම් පිරිසිඳු කල හැකිද? මෙල්ල කලහැකිද? කිකිළියෙක් තම බිත්තර මනා සේ රකින්නේ යම් සේද එලෙස රකින ලද බිත්තර, ඒ කුකුළු පැටව් තම මුව තුඩින් බිජුව පලාගෙන සුවසේ පිටතට නික්මෙන්නාක් මෙන්, මනා කොට වඩන ලද සිත, තණ්හාව කඩා දමා, ලෝකයෙන් නික්මී ලෝකොත්තරයට අධිගමනය කිරීමට හැකිබව, බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත. (වාසිජටසුත්තං)
කිකිළියක් තම බිජු හෙළීම පිණිස කුඩුව සාදයි, ඒ සඳහා ශබ්ද අඩු, ආරක්ෂිත, පහසු සුදුසු ස්ථානයක් තෝරන්නේ යම්සේද, එලෙසම විදර්ශකයා විසින් තම සිත වැඩීම පිණිස ශුන්යාගාර, රුක්ඛමුල, ආරණ්ය ආදී සුදුසු ස්ථානයක් තෝරාගත යුතුය.
කිකිළිය තම බිජු මත මනාකොට සයනය කරන්නේ යම් සේද, විදර්ශකයා තම භාවනාව/ විදර්ශනාව සඳහා නිවැරදි ආසන ක්රම භාවිතා කලයුතුයි.
කිකිළිය තම බිජු මනාකොට උණුසුම් කරන්නේ යම් සේද, විදර්ශකයා තම සිත විදර්ශනා දර්ශනයෙන් උණුසුම් කල යුතුයි.
කිකිළිය තම බිජු මනාකොට කුකුල් ගඳ කරන්නේ යම් සේද, විදර්ශකයා විසින් තම විදර්ශනය, සතර සතිපට්ඨාන ආදී ධර්මයනට අනුකුලව ක්රියාත්මකද යන්න බැලිය යුතුයි.
එලෙසම, බිජු රකින කාලය තුල, තම කෘත්ය (කෑම, බීම, බහිශ්රාව) කලාතුරකින් කරන්නේ යම් සේද, විදර්ශකයා විසින්, තම කෘත්ය සීමාවකින්,කළමනා කිරීම කලයුතුයි.
එලෙස, යම් කාලයක් මනාකොට රැක්ක වූ බිජු කුණු නොවූ බිජුවක් ලෙස, කුකුළු පැටවා කටුව පුපුරවා සුවසේ එලියට පැමිණීම වැළක්විය නොහැකි සේ, විදර්ශකයාද යම් ක්රමානුකුල වැඩපිළිවෙලක, ඉවසීමෙන් යුක්තව, යම් ඉල්ලක්කගත කාලයක් තුල ක්රියාත්මවීම තුල, ආර්ය-ඵල පැමිණීම වැළක්විය නොහැකි බව අප තේරුම් ගත යුතුය. (සෙඛසුත්තං)
බාලාංශ පාසැල තුල උගන්වන "Humpty Dumpty" බිළිඳු ගීය බාලයාට වුවත්, ජීවිතයේ අප තේරුම් ගතයුතු ගැඹුරු යථාර්තය, මෙහි සැඟවී ඇති පාණ්ඩිත්ය, අප දත යුතුය.
"Humpty Dumpty sat on a wall,
Humpty Dumpty had a great fall.
All the king’s horses and all the king’s men
Couldn’t put Humpty together again."
Humpty Dumpty නම් බිත්තර රජු, තාප්පය මත වාඩිවීම, ජිවිතය සමතුලිතව ගතකල යුතු බවත් එලෙසම ජීවිතය මරණයට නැඹුරුව පවතින අවිනිශ්චිත බව පසක් වේ.
තාප්පයෙන් වැටෙන බිත්තරය කැඩී බිඳී යන්නේ යම් සේද, හුදෙක් ජීවිතය මරණයෙන් කෙලවර වන බවත්, මරණය සර්ව සාධාරණ යථාර්තයක් බව වැටහේ.
රජුගේ කවරෙකුත් උත්සහ කරත් නැවත බිත්තරය පෙරසේ සැකසිය නොහැකි සේ, කවරෙකු කොතරම් උත්සහ කරත් නැවත ජිවිතය ආපස්සට හැරවිය නොහැකි බව වැටහේ.
එසේ නම් තම ජීවිතය බිත්තරයක් සේ, ඕනෑම මොහොතක කැඩෙන බිඳෙන සුළුබවත්, කැඩුනොත් නැවත යථා තත්වයට පත්නොවෙන බවත් සිහිගන්වා, අප්රමාදව, මනා කොට බිජු රකින කිකිලිය සේ, තම සිත, වැඩීම පිණිස සිත් පහල වේවා! එලෙස වැඩුණු සිත, ජීවිතයේ යථාර්තය මනාකොට තේරුම් ගැනීමටත්, අකම්පිතව, නොසැලී ජීවිතයේ හැලහැප්පීම් දරාගනිමින් වැජඹීමට හැකියාව උදාවනු වේවා!
- රිදීකන්ද ආරණ්ය සේනාසනය, උඩස්ගිරිය, මාතලේ.
share this article share this article on Facebook share this article on Tiwtter share this article on LinkedIn