Temporary Ordination

Temporary Ordination Banner

තාවකාලික පැවිදි පුහුණු වැඩසටහන

වැඩසටහන කාල පරිච්ඡේදය - දින 15

ඊළඟ වැඩසටහන පවත්වන කාලය - වර්ෂ 2024 පෙබරවාරි 01 වන දින සිට 15 වනදා දක්වා

පුහුණුව පැවැත්වෙන ස්ථානය - රිදීකන්ද ආරණ්‍යය සේනාසනය, මාතලේ, උඩස්ගිරිය.

සම්මුඛ පරීක්ෂණ දිනය - 2024.01.19 වන සිකුරාදා උදේ 9.00 සිට 12.00 දක්වා

සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය - ශ්‍රී අභයාරාම පුරාණ ටැම්පිට විහාරය, දොරටියාව, කොන්පොල, කුරුණෑගල.

සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානයට පැමිණෙන ආකාරය:

පොදු ප්‍රවාහන බස්රථ වල පැමිණෙන අය කුරුණෑගල ප්‍රධාන බස්නැවතුම් පොළ ඉදිරිපිට ඇති ප්‍රාදේශීය බස්නැවතුම් පලේ "කෝන්පොල-කුරුණෑගල" බස්රථයේ පැමිණ, ශ්‍රී අභයාරාම පුරාණ ටැම්පිට විහාරය ඉදිරියෙන් බැසිය හැක.

පෞද්ගලික වාහන වල පැමිණෙන අය, කුරුණෑගල සිට "කුරුණෑගල-නුවර" ප්‍රධාන මාර්ගයේ 4km කටුගස්තොට දෙසට පැමිණ, මල්ලවපිටිය මුස්ලිම් පල්ලිය අසල තුන්මං හන්දියෙන් දකුණට හැරී 5km දුරක් පැමිණිය යුතුය.

විහාරස්ථානයේ google location :

https://goo.gl/maps/xewGUq1gUAGYoFddA

අතුරුදහන් වෙමින් පවතින අතීත ලක්දිව ථෙරවාද බුදුසසුනේ ආරණ්‍යය සම්ප්‍රදාය සුරක්ෂිත කිරීම උදෙසා නිර්මාණය කෙරෙන තාවකාලික පැවිදි පුහුණු වැඩසටහන, මාතලේ උඩස්ගිරිය රිදීකන්ද ආරණ්‍යය සේනාසනය තුලදී සිදුකිරීමට නියමිතයි.

මෙම වැඩසටහන තුලින්, දින 15 ක් පුරාවට ඒ අතීත ආරණ්‍යය සම්ප්‍රදායන් තුලට පිවිසී ආරණ්‍යය වාසීව ආරණ්‍යය වත පුහුණු වීමට සැලැස්වීම කෙනෙකුට ලැබෙන මහඟු අවස්ථාවකි. එම කාලය තුල භාවනා කම්මට්ඨානාචාර්‍යයන් වහන්සේලාගේ ගුරුහරුකම් ලබමින් නිවැරදි මාර්ගෝපදේශයන් යටතේ සමථ විදර්ශනා භාවනා කර්මස්ථානයන් වඩමින් ආර්ය මාර්ගය ඔස්සේ සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරිහත් යන උතුම් ඵල අවබෝධයට පත්වීමට මුලික අඩිතාලම සැලසීම මෙහි මුලික අරමුණයි.

ඊට අමතරව, පැවදි ජීවිතය තුලින් පෝෂණය වන ඉවසීම, දරාගැනීම, නිහතමානිත්වය වැනි උතුම් පුද්ගල චර්යාවන් මෙන්ම සමාජ ප්‍රියශීලී, විනයගරුක පුද්ගල පරිවර්තනයක් ලඟාකරගැනීම මෙම වැඩසටහනේ තවත් අරමුණකි. එමෙන්ම, රිදීකන්ද ආරණ්‍යය සේනාසනය තුල පවත්වාගෙන ගෙන යනු ලබන විශේෂ ආරණ්‍යය සම්ප්‍රදායන් අතර පිණ්ඩපාත වත, ආරණ්‍යය චීවර සැකසීම හා චීවර පඬු පෙවීමේ වත (වසරේ එක් අවස්ථාවකට සීමා වේ) ආදී විවිධ සම්ප්‍රදායන් හි අත්දැකීම් ලබාගැනීමට මෙම දෙසතිය තුල තාවකාලික පැවිදි පුහුණු ශිෂ්‍යයන්ට හැකිවේ.

ආගම් බේදයකින් තොරව, වයස අවු 18ත් 60ත් අතර ශාරීරික සහ මානසික නීරෝගීභාවයකින් යුක්ත ඕනෑම අයෙකුට මෙම තාවකාලික පැවිදි පුහුණු වැඩසටහන හා සම්බන්ධ වියහැකි අතර, සුදුසු ශාරීරික හා මානසික යෝග්‍යතාවය පරීක්ෂාකිරීම සඳහා සම්මුඛ පරීක්ෂණයකදී පරීක්ෂා කරනු ලබයි.

FAQ

1. මෙම වැඩසටහන කාන්තාවන්ට සහභාගී විය හැකිද?  බැහැ. මෙය හුදෙක් භික්ෂු පැවදි පුහුණු වැඩසටහනකි.

2. හිස මුඩු කිරීම අනිවාර්යද?  ඔව්. විනායානුකුලව පැවදි කිරීම සිදුකෙරේ.

3. භාරකාරත්වයේ අවසරය අවශ්‍යද?  ඔව්. ඊට අමතරව, ග්‍රාමසේවක සහතිකය, වෛද්‍ය සහතිකය සහ රැකියාවක නිරත වේ නම්, නිවාඩු අනුමත සහතිකය ඉදිරිපත් කලයුතුය. මෙම ලිපි ලේඛන පැවදි වන දවසේ දී අවශ්‍යය වේ. සම්මුඛ පරීක්ෂණයට අවශ්‍යය නොවේ.

4. දින 15 පසු, කැමතිනම් කෙනෙකුට දීර්ඝව ශාසනයේ පැවදි බව තුල රැඳී සිටිය හැකිද?  ඔව්. ඒ සඳහා අවශ්‍යය පසුබිම සකසා දෙනු ලැබේ.

5. එක් වැඩසටහනකට බඳවා ගන්නා පිරිස?  15 දෙනයි. (සම්මුඛපරීක්ෂණයෙදී 15 දෙනාට වඩා සුදුසුකම් ලැබුණහොත්, ඉදිරියෙදී පැවැත්වෙන පුහුණුව වැඩසටහන් හරහා සම්බන්ධ කරවීම සිදුවේ.)

 6. දින 15 වැඩසටහන අතරතුර දුරකථන පරිහරණය කලහැකිද?  සම්පුර්ණයෙන් තහනම්.

7. සම්මුඛපරීක්ෂණය ට රැගෙන ආයුතු දේ මොනවද?  ඔබේ ජාතික හැඳුනුම් පත්‍රය ප්‍රමාණවත්.

8. සම්මුඛපරීක්ෂණයෙදී පරීක්ෂාවට ලක්කරන්නේ කුමක්ද?  ඔබේ ශාරීරික සහ මානසික යෝග්‍යතාවය යි.

9. මෙම පුහුණුව සඳහා යම් වියදමක් දැරීමට සිදුවනවාද? ඔව්. දින 15 ක පුහුණුව සඳහා ඔබේ පරිහරණයට අවශ්‍යය සිවුරු පිරිකර ආදී භාණ්ඩ ලැයුස්තුව සඳහා වියදම ඔබ විසින් දැරිය යුතුයි! ඒ හැර වෙනත් අය කිරීමක් නැත. තවද, දින 15 සඳහා අවශ්‍ය දානය, ගිලන්පස සහ අනෙකුත් අවශ්‍ය දෑ ආරණ්‍යය විසින් සපයනු ලැබේ.

10. මෙම වැඩසටහන හා සම්බන්ධ වීමට වයස් සීමාවක් තිබේද?  ඔව්. අවු 18ත් - 60ත් අතර විය යුතුය.

11. විවාහක අයට සහභාගී විය හැකිද?  ඔව්. භාරකාරත්වයේ කැමැත්ත මත.

12. තාවකාලික පැවදි පුහුණු වැඩසටහන ථෙරවාද බුදුසසුනේ ධර්ම විනයට අනුකුලද?   එමෙන්ම, පුහුණුවෙන් පසු පැවදි බවෙන් ඉවත්වීම අකුසලයක්ද?

විනය පිටකයේ මහාවග‍්ගපාළියේ මහාක‍්ඛන්‍ධකයේ සඳහන් වන පරිදි පැවදි අපේක්ෂකත්වය ප්‍රව්‍රජ්‍යාපේක්‍ෂකයන් ද උපසම්පදාපේක්‍ෂකයන් සිදුකළ හැකියි. ප්‍රව්‍රජ්‍යාපේක්‍ෂකයන් දසසීලයෙන්ද, උපසම්පදාපේක්‍ෂකයන් උපසම්පදා සීල්යෙන්ද අධිෂ්ඨාන කොට පැවදි කිරීමත්, උපසම්පදාපේක්‍ෂකතත්වයට පත්වීමේදී ප්‍රව්‍රජ්‍යාපේක්‍ෂකත්වය උදුරවා උපසම්පදාපේක්‍ෂකතත්වයට පත්වීම තුලම, ප්‍රව්‍රජ්‍යාපේක්‍ෂකත්වය තාවකාලික බව කිව යුතුය.

එමෙන්ම, පැවදි බව තුල ක්‍රියාත්මක වීමට හෝ ඉන් බැහැර වීමට නිදහස බුදුසසුන තුල ඉදිරිපත් වී ඇති හෙයින්, අකුසලයක් සිදුනොවන බව කිව යුතුය.

එමෙන්ම, සුත්තපිටකයේ ඛුද්දකනිකායේ අපදානපාළියේ පණ්ණදායකවග්ගයේ සත්තාහ පබ්බජිත ථෙරාපදානය තුලත් පැවිදිව සතියක් එහි ඇළුනේව විසීමේ ආනිසංස දක්වා ඇත.

තවද, වර්ෂ 1927 දී රචිත ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ "ජාතික පනත" නමැති පොතෙහි 162 වෙනි වගන්තියෙහි මෙලස, තාවකාලික පැවදි පුහුණුව සම්බන්ධයෙන් එතුමා සඳහන් කොට ඇත; "තාවකාලික මහණදම් පිරීමේ ක්‍රමයක් ලංකා වෙහිද ඇති කිරීමට කාලය පැමිණ තිබෙන බව සලකනු."

එමෙන්ම වර්ෂ 1984 දී ප්‍රකාශිත රිචර්ඩ් ගොම්රිච් විසින් "Temporary Ordination in Sri Lanka" නමින් රචිත ශාස්ත්‍රීය සඟරාව තුල ද ශ්‍රී ලංකාවේ එකල ක්‍රියාත්මක වූ තාවකාලික පැවදි පුහුණු වැඩසටහන් පිළිබඳව ශාස්ත්‍රීය විචාරයද කියවීම වටී.

මීට අමතරව මෙම වැඩසටහන පිළිබඳව සම්පුර්ණ දැනුවත්කිරීමක් සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන අවස්ථාවේ දී සිදුකෙරේ.

වැඩි විස්තර සඳහා:

Mobile:+94742252980
Email:rideekanda@gmail.com
Web : https://www.rideekanda.com/temporary-ordination/

YouTube:https://youtu.be/5UQYjPuh5ZY
Photo Gallery : https://www.rideekanda.com/temporary-ordination/