බෝධි පූජාවේ යථාර්තය

බෝධි පූජාවේ යථාර්තය

  1. බෝධි පුජාව කෙසේ අර්ථකතනය කල හැකිද?

'බෝධිය' යන වචනයේ අර්ථය 'අවබෝධය' කියන එකයි. ජීවිතයේ ඇත්ත ඇති සැටියෙන් දැන දැක පැහැදීම, 'අවබෝධය' හෙවත් 'බෝධිය' ලෙස අර්ථකථනය කරන්න පුළුවන්.  'සම්බෝධි', 'සම්බුද්ධ' හෙවත් පරිපුර්ණ අවබෝධයට පත් වූ; ලෙස බුදුරජාණන් වහන්සේගේ ගෞරවණීය ආමන්ත්‍රණය සඳහා භාවිතා කරන්නේත් එනිසයි. 'පූජා' යන්නෙහි අදහස නම්, ගෞරවය දැක්වීම, ප්‍රශංෂා කිරීම වගේම රැකබලා ගැනීම, පරිස්සම් කිරීම, අත්හැරීම යන අරුත් දක්වන්න පුළුවන්. 

 

එසේනම්, 'බෝධි පුජාව' ලෙස අර්ථකථනය වන්නේ, යම් කෙනෙකු විසින් උතුම් ධර්ම මාර්ගය ඔස්සේ ක්‍රියාත්මක වෙමින්, ජීවිතය පිලිබඳව, ලෝකය පිළිබඳව සත්‍යාවබෝධයට පත්වීමත්; ඒ ලබාගත් අවබෝධය නැවත නැවත මෙනෙහි කරමින් එහි අඩුපාඩු ඇත්නම් නිවැරදි කරගැනීමත්; තවදුරටත් අවබෝධය වර්ධනය කරගත යුතුනම් එය වර්ධනය කරගැනීමට අධිෂ්ඨාන කරගැනීමත්; ඉලක්ක ගත අවබෝධයකට පත් වූවානම් එය පවත්වා ගැනීමට, ආරක්ෂා කරගැනීමට කටුයුතු කිරීමත්; පරිපුර්ණ අවබෝධයට පැමිණ ඇත්නම්, එහි පරිපුර්ණත්වයට පැමිණි බව දැනගෙන උපෙක්ෂකව, මෛත්‍රියෙන්, කරුණාවෙන්, මුදිතාවෙන් යුක්තව වාසය කිරීමත්ය.

 

අප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සම්බුද්ධත්වයෙන් දෙවන සතිය තුල සිදුකල අනිමිසලෝචන පුජාව දෙස බැලුවොත් ඉහත අර්ථකථනය පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. මුලින්ම, අනිමිසලෝචන පූජාව හි අර්ථය පිලිබඳ ව්‍යවාහරික අදහසට වඩා මෙහි දාර්ශනික අදහස තේරුම් ගන්න උත්සහ කිරීම වටිනවා. 'අනිමිසලෝචන' (අ+නිමිස+ලෝ+ච) යන පාලි පදය තුල අර්ථ කිහිපයක එකතුවක් පිළිබිඹු වෙනවා. 'අනිමිස'(අ+නිමිස) යන්නෙහි සෑම නිමේශයක්, මොහොතක්, ක්ෂණයක් යන්න අර්ථකථනය වේ. ලෝචන (ලෝ+ච) පදයෙහි,  'ලෝ' යන පදය තුල ලෝකයත්, 'ච' යන පදයෙන් චිත්තයත් පිලිබඳ විමර්ශනය කිරීම, මනසිකාර කිරීම යන්න අර්ථකතය වෙනවා. එහෙනම්, සම්බුද්ධත්වයෙන් දෙවන සතිය පුරාවට සම්බුදුරජාණන් වහන්සේ, සිදුකලේ ලෝකය වනාහි සෑම ක්ෂණයක් පාසා සිදුවන චිත්ත ක්‍රියාවලියක් බව අනාවරණය කිරීමයි. එය තවදුරටත් තහවුරු කරගැනීම පිණිස උන්වහන්සේ දර්ශක 37ක් හෙවත් මිනුම් දඬු 37 ඔස්සේ උන්වහන්සේ අවබෝධ කරගත් යථාර්තය විමර්ශනය කිරීම සිදුකලා. එය ධර්මයේ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම ලෙස ඉදිරිපත් කරනවා. එම දර්ශක 37 ඔස්සේ බැලීමේදී උන්වහන්සේ, ලෝකය/ජීවිතය පිලිබඳ අවබෝධ කරගත් සත්‍යය, නියත වශයෙන් සත්‍යක්ම බව අනාවරණය කරගනු ලැබුවා. ඉතින් මෙම ක්‍රියාවලියට තමයි ඇත්ත වශයෙන් අනිමිසලෝචන පුජාව කියල කියන්නේ. 

 

ඉතින් අද අප බෝධි පූජාව ලෙස සිදුකල යුතු වන්නේත්, දුක්විඳින තම ජීවිතය/ලෝකය පිලිබඳව සත්‍ය අවබෝධ කරගැනීමත්, එහි ක්‍රමානුකුල වර්ධනය නිරතුරුව ප්‍රත්‍යවෙක්ෂා කරමින් නිවන නමැති උතුම් අවබෝධයට පත්වීමයි. එය තමන්ගේ යහපත උදෙසාත්, සියළු දුක් කෙළවර කිරීම උදෙසාත් එකම වැඩපිළිවෙලයි.



  2. නමුත්, බෝධීන් වහන්සේ ලෙස අප වන්දනා මානයට පාත්‍ර කරන්නේ බෝධි වෘක්ෂයක් නේද? බෝධීන් වහන්සේ වන්දනාව සහ වෘක්ෂ ඇදහිලි අතර වෙනස කුමක්ද? 

 

යක්ෂ, දේව, නාග, මළවුන්, ගස්ගල් ආදී අතීත විවිධ ඇදහිලි විශ්වාස අතරින් වෘක්ෂ ඇදහිලි, එදා අතීත ජන සමාජ වල පැවතුනා. වෘක්ෂයට අරත්ගත් දේවත්වයකින් තමන්ගේ අපේක්ෂාවන් හෝ ප්‍රාර්ථනාවන් සපුරා ගැනීම සඳහා කරනු ලබන පූජාව, වෘක්ෂ ඇදහිලිවල දකින්න පුළුවන්. නමුත්, බෝධි වන්දනාව ඊට හාත්පසින් වෙනස්වන්නේ, වෘක්ෂ වන්දනාව හෝ පූජාවම, අන්ධ භක්තියකින් හෝ අන්ධ විශ්වාසයකට ලඝු නොකොට; වෘක්ෂ වන්දනාව, බුද්ධ දර්ශනයට අනුකුල ලෙසත්, වඩාත් අර්ථසම්පන්න ලෙසත් ඉදිරිපත් කිරීමක් ලෙස බෝධී වන්දනාව දකින්න පුළුවන්.

 

උදාහරණයක් ලෙස, එදා තමන් වහන්සේ බුද්ධත්වයට පැමිණී අවස්ථාවේ, උන්වහන්සේ ලබාගත් උතුම් අවබෝධය සංසන්දනය කරන්න, නිරවද්‍යතාවය තහවුරු කිරීම සඳහා උන්වහන්සේ පිටදුන් බෝධි වෘක්ෂය කැඩපතක් ලෙස තමන් වහන්සේගේ අවබෝධය දකින්න උපයෝගී කරගත්තා. අපි දන්නවා, කැඩපත කියන්නේ තමන්ගේ අඩුපාඩු දකින්න පුළුවන්, අඩුපාඩු නිවැරදි කරගන්න පුළුවන් දෙයක්. ඒවගේ, බෝධි වෘක්ෂය කැඩපතක් ලෙස තමන්ගේ අවබෝධය කෙසේද යන්න දකින්න පුලුවන්නම් එය හරිම වටිනා දර්ශනයක් වෙනවා. කොහොමද බෝධි වෘක්ෂයකින් තමන්ගේ අවබෝධය දකින්නේ?. 

 

- මේ මහා වෘක්ෂය වනස්පතියක් ලෙස මනා ලෙස වැඩුණු, මනා ලෙස විහිදුනු අතුපතර සහ මූල පද්ධතිය, මනා පරිණත බව පෙන්වයි. එලෙස තමා තුල ජීවිත යථාර්තය පිලිබඳ පරිණත බව කෙසේද? යන්න තමා තුලින් විමර්ශනය කරන්න ඕනේ. 

 

- මේ මහා වෘක්ෂය කුමන හෝ සැඩ සුළං, ගංවතුර ආදී කුමන බාධකයන්ට නොසැලී අකම්පිතව වාසය කරයි. එලෙස තමා තුල, නොයෙකුත් බාධක හමුවේ නොසැලී, අකමිත සිතකින් වාසය කලහැකිද?  යන්න තමා තුලින් විමර්ශනය කරන්න ඕනේ.

 

- මේ මහා වෘක්ෂය, කාගේවත් හව් හරණක් නැතුව තනිව වැඩී නැගී සිටියි. එලෙස, තමාටද තනිවම අභියෝග හමුවේ නැගී සිටීමට හැකිද? යන්න තමා තුලින් විමර්ශනය කරන්න ඕනේ. 

 

- මේ මහා වෘක්ෂය අභියස, පවතින මහා සෙවණ අධික හිරු රශ්මියෙන්, වැස්සෙන් ආරක්ෂාව සැලසෙයි. එලෙස, තමාටද කටුක දුෂ්කර අරමුණු වල නොගැටී නොඇලී වාසය කල හැකිද? යන්න තමා තුලින් විමර්ශනය කරන්න ඕනේ.

 

- මේ මහා වෘක්ෂය යට, දැනෙන සිසිලස, බෝ පත් සිරස වදින විට දැනෙන සුවපත් බව, මහා වෘක්ෂය අභියස සුදුවැලි මත ඇවිදින විට පයට දැනෙන සුවපත් බව යම්සේද? එලෙසම, ජීවිත අවබෝධය තුලින් ලැබෙන නිරාමිස සැපය, සුවපත් බව අත්විඳිය හැකිද? යන්න තමාට අත්දැකිය හැකිනම්, 

 

තමන්ටම තමන්ගේ අවබෝධයේ මට්ටමත්, ඒ තුලින් ලැබුණු ආධ්‍යාත්මික ශක්තියත් මැන බලන්න පුලුවන්.

 

තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය සහ හැකියාව පිළිබඳව ඉහත පරිදි වටහාගත් කෙනාට, හොඳ විශ්වාසයක් ගොඩනැගෙනවා විතරක් නෙවෙයි, ඕනෑම අභියෝගයක් ජයගන්න එය පිටිවහලක් වෙනවා. මෙම ක්‍රියාවට කියනවා සත්‍යක්‍රියා කරනවා කියල, සත්‍යක්‍රියාව කියන්නේ, තමන් විසින් දැන දැක ගනුලැබූ ජීවිතයේ  සත්‍යය, පිරිසිඳු සත්‍යක්නම්, එහි ශක්තියෙන් හා බලයෙන් සියළු ප්‍රර්ථනා ඉටුවේවා කියල අධිෂ්ටාන කරන්න පුළුවන්. එහි තිබෙන සත්‍යානුබලය හේතුවෙන් සහ තමන් තුල පවතින හැකියාව පිලිබඳ විශ්වාසය හේතු ගොටගෙන, ඕනෑම ප්‍රාර්ථනාවක ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන්.





share this article share this article on Facebook share this article on Tiwtter share this article on LinkedIn