විනාඩි 5 න් සිත එකඟ කරන ක්‍රමය

මාතලේ දිස්ත්‍රික්කයට අයත් උඩස්ගිරිය ගම්මානයේ පිහිටා ඇති රිදීකන්ද ආරණ්‍යයහි  සේනාසනාධිපති ස්වාමීන්වහන්සේ අති ගෞරවනීය විද්‍යාවේදී රාජකීය පණ්ඩිත කම්මට්ඨානාචාර්ය අනුරාධපුර අරියජීව ස්වාමින්වහන්සේගේ අනුශාසකත්වයෙන් යුතුව "අපි සගරාවේ" 26 වෙනි දිගහැරුම ඔස්සේ ඉදිරිපත් කළ "භාවනාව සහ විවිධ භාවනා ක්‍රම" පිළිබදව කරුණු විග්‍රහ කෙරුණු ලිපියට අනුකූලව මෙවර අප ඔබ වෙත ගෙන එන්නේ "ඉතාම කෙටි කාලයකින් සිත එකඟ කර ගන්නා ක්‍රමවේදය" පිළිබදවයි.

 

1. ඒකාග්‍ර සිතක් යනු කුමක්ද? 

සාමාන්‍ය සිතක ස්වභාවය නම්, විවිධ අරමුණු ඔස්සේ සිත විසිරවීමයි. වර්ණයන්, ශබ්දයන්, ගන්ධයන්, රසයන්, ස්පර්ශන් සහ මතකයන් තුලින් අපගේ සිත විවිධ අරමුණු ඔස්සේ මෙහෙයවමින් සිත බලවත් වෙහෙසකට පත් කරයි. සිතෙහි වෙහෙසකාරි බව, සැම විටම ච්ත්ත පීඩාව, අලස බව, කලබල ගතියෙන් යුක්තව සිත ක්‍රියාත්මක වේ. විසිරුණු සිතක චිත්ත ශක්තියෙහි ද ප්‍රභලතාවය අඩුයි.

යමෙකු විසින් විවිධ අරමුණු බැහැර කොට, එක් අරමුණක් වෙත පමණක් සිහිය පවත්වනවාද, එය ඒකාකාරි අරමුණු රටාවකින් යුක්තව ‍යම් පාලනයකින් යුත් සිතකි. එවැනි සිතක විවේකිබව, ප්‍රබෝධමත්බව මෙන්ම මනා සතිමත් බවකින් යුක්ත වු චිත්ත ප්‍රවාහයක් ක්‍රියාත්මක විම දැකිය හැක. එකඟ සිතෙහි චිත්ත ශක්තිය, ලෞකික ජිවිතයේ විවිධ බාධක හා අභියෝග පහසුවෙන් ජයගැනීමටත්, කායික හා මානසික නිරෝගීභාවය පිණිසත් මහෝපකාරී වේ.

 

2. සිතක එකඟ බව, කායික සහ මානසික නිරෝගි බව පිණිස හේතු වීම පිළිබද නවීන විද්‍යාත්මක පරියේෂණයන් කෙසේ සාක්ෂි දරයිද? 

ඒකාග්‍ර සිතක ස්වභාවය පිළිබදව සිදුකල ඇති විද්‍යාත්මක පරියේෂණයන්ට අනුව, එකඟ සිතක් ඇතිකර ගැනීම තුලින්, මිනිස් මොළයේ ස්නායු ආවේගයන්ගේ සැලකිය යුතු වෙනසක් සහ ප්‍රීතිය, සැපය, මද්‍යස්ථබව වැනි ධනාත්මක සිතුවිලි වල උත්තේජනයන් දැකිය හැකි බව නිරික්ෂණය කර ඇත. චිත්ත ‍ඒකාග්‍රතාවය විවිධ මට්ටම් වලින් කෙනෙකුට වර්ධනය කල හැකි අතර, එම විවිධ ඒකාග්‍ර මට්ටම් වෙනස් විමට අනුකුලව, මොළයේ ස්නායු තරංගයන්ගේ සංඛ්‍යාතයන් ක්‍රමානුකූලව අඩුවන බව පරියේෂණවලින් සොයාගෙන ඇත. 

ඒ ඒ ඒකාග්‍රතා මට්ටම් අනුව සිතෙහි විවිධ බලයන් හා ගුණාංග ඇතිවීම හා ඒවා තුලින් ලැබෙන විවිධ හැකියාවන් සහ ප්‍රායෝජනයන් පහත පරිදි දැක්විය හැක.

 

ගැමා තරංග මට්ටම් (තරංග ආයාමය 38-42 අතර)

මෙම අවස්ථාවේදී මොළයේ ක්‍රියාකාරීත්වය සක්‍රීයව ක්‍රියාත්මක වීම නිසා සතිමත් බව සමග ක්‍රියාශිලිව යම් කටයුත්තක් සාර්ථකව කිරිමේ ශක්තිය වර්ධනය වේ. විශේෂයෙන් රැකියා ස්ථානයේදී රැකියා කටයුතු වලදි නිවැරැදි සහ ක්ෂණිකව ගැටලු විසදීමේ හැකියාව දැනුවත් බව සහ මනා අවධානය, පරීක්ෂාකාරී බව මෙන්ම මතක් ශක්තිය හොදින් ක්‍රියාත්මක විම සිදු වේ.

 

බීටා තරංග මට්ටම (තරංග ආයාමය 12-38 අතර) 

මෙම අවස්ථාවේදි මනාව තීන්දු තිරණ ගැනීම, නිවැරැදි විනිශ්චයන් ගැනිම, යම් ඉලක්ක ගත අරමුණක් නිවැරැදිව යමක් සැලසුම් කිරිම සහ එය සම්පුර්ණ කිරිම ආදිවු හැකියාවන් සාක්ෂාත් කිරිමට අවශ්‍ය සතිමත් බව ලැබේ.

 

ඇල්ෆා තරංග (තරංග ආයාමය 8-12 අතර)

මෙම අවස්ථාවේදී ඇතිවන සිතෙහි එකඟ බව, තුලින් කය සහ සිත යන දෙපාර්ශවයේ මනා ඒකාබද්ධභාවය සහ සමබරතාවය තහවුරු කරයි. ඒ ඔස්සේ කායික මානසික සන්සුන් බව සහ විවේකි බව අත්විඳිය හැක. මෙම අවස්ථාවෙ ස්නායු පද්ධතිය සමතුලිතබව සහ ආතතිය වඩවන හෝමෝන ක්‍රියාකාරිත්වය අඩුවන බව සොයා ගෙන ඇත.

 

තීටා තරංග මට්ටම (තරංග ආයාමය 4-8 අතර)

තීටා අවස්ථාවේදී ඇතිවන සිතෙහි එකඟ බව, ගැඹුරු සමාධි ස්භාවයකට පත්වීමත්, ඒ තුලින් ධනාත්මක ආකල්ප, නිර්මාණශිලීත්වය වැනි අභ්‍යන්තර කුසලතාවන් වර්ධනය වීම සිදුවන බව සොයාගෙන ඇත. මෙම අවස්ථාව, කෙනෙකුගේ තෙවෙනි ඇස ඉපදීම ලෙසද වේද ශාස්ත්‍රියේ සදහන් වී ඇත.

 

ඩෙල්ටා තරංග මට්ටම (තරංග ආයාමය 1-4 අතර)

ඩෙල්ටා අවස්ථාවේ සිතෙහි එකඟ බව සුවිශේෂී අවස්ථාවකී, මෙහි ගැඹුරු සමාධි මට්ටමක් වන අතර, උපේක්ෂාව, මෛත්‍රීය, කරුණාව, මුදිතා ආදී විශේෂය ගුණංග සහිත සිතුවිලි ධාරා ඉපදීම, වගේම ගැඹුරු සුවපත් බවක් මෙම මට්ටමේදි ලැබෙයි. කායික හා මානසික ආබාධ සුවවීමේ හැකියාවක් මෙම අවස්ථාවට පත්විම තුල ඇතිකල හැක. සියුම් විමර්ශනශිලිත්වයක් මෙන්ම යමක් ගැඹුරින් අවබෝධ කර ගැනීම සදහා අවශ්‍ය චිත්ත ශක්තිය මෙම මට්ටමේදි ලඟා කරගත හැක.

 

3. බෞද්ධ දර්ශනය තුල සමත භාවනාවේ උපයෝගීතාවය කෙසේද? 

බෞද්ධ සතිය, එළඹ සිටි සිහිය, සමාධිය ආදී වශයෙන් ඉදිරිපත් කෙරෙන අදහස් තුල මතුවන්නේද, සිතහේ එකඟ බව වේ. ලෝකයේ සත්‍යතාවය ගවේෂණය කිරිමට අවශ්‍ය ගැඹුරු සිහිය, සතිමත් බව, සමථ භාවනාව තුලින් වර්ධනය කරවයි. සමථ භාවනාවෙන් ලැබෙන එම සතිමත් බව, තුලින් විදර්ශනා දර්ශනයන් විමර්ශන කිරිම ධර්ම මාර්ගය වඩන භාවනා යෝගීන් විසින් සිදු කරයි. ඒනිසා, ධර්ම මාර්ගය සදහා අවශ්‍ය මූලික පදනම ලෙස ඒකාග්‍ර සිත හදුන්වා දිය හැකිය.

 

4. එදිනෙදා ජිවිතයේදී සියලු දෙනාට සරලව භාවිතා කල හැකි භාවිනා ක්‍රමයක් නිර්දේශ කල හැකිද? 

සියලු වයස් වල අයට වැඩීමට පහසු අභ්‍යාසයක් ලෙස හුස්ම මුලික කොට ගණන් කිරිමේ ක්‍රමයක් මෙලෙස ඉදිරිපත් කල හැකිය. 

මෙම භාවනා අභ්‍යාසය සදහා පිට කොන්ද ඍජුව සහ හේත්තු නොවි තබා ගැනීම වැදගත්ය. 

සුදුසු පරිදි ආසනයක හිද ඇස් දෙක වසා ගන්න. 

හොදින් දීර්ඝ හුස්මක් ආශ්වාස කර ප්‍රාශ්වාස කරන්න. 

මෙම දීර්ඝ හුස්ම ගැනීම තුන්වරක් පමණක් සිදු කරන්න. 

ඉන්පසු නිරායාසයෙන් වැටෙන හුස්ම ‍රටාව හදුනා ගන්න උත්සාහ කරන්න. 

හුස්මේ අශ්වාසය වැටෙන හැටි හදුනා ගන්න. 

හුස්මේ ප්‍රාශ්වාසය වැටෙන හැටි හදුනා ගන්න. 

ඉන්පසු, නිරායාසයෙන් වැටෙන අශ්වාසය " එක, දෙක, තුන, හතර, පහ" නමින් ගණන්  කරන්න. 

එලෙසම, නිරායාසයෙන් වැටෙන ප්‍රාශ්වාසයටද " එක, දෙක, තුන, හතර, පහ" නමින් ගණන් කරන්න. 

මෙම එකේ සිට පහට ගණන් කිරිම නොනවත්වාම, අශ්වාසයට සහ ප්‍රාශ්වාසයට සිදු කරන්න. 

මෙය විනාඩි පහේ සිට විනාඩි 30ක් දක්වා වැඩි දියුණු කරන්න.

 

මෙම ලිපිය මගින් ඉතාමත් වටිනා ධර්මානුකූල කරුණු රැසක් "අපි සගරාව" කියවන ඔබ වෙත ඉදිරිපත් කිරිම පිළිබදව අපගේ ගෞරවනීය ස්තුතිය රිදීකන්ද ආරණ්‍යයහි සේනාසනාධිපති ස්වාමීන්වහන්සේ අති ගෞරවනීය විද්‍යාවේදී රාජකීය පණ්ඩිත කම්මට්ඨානාචාර්ය අනුරාධපුර අරියජීව ස්වාමින්වහන්සේට පුද කරමු. ඔබ වහන්සේට අප්‍රමාණ පින් ලැබේවා!

අමා නාකන්දලගේ

 

Reference:

https://www.apimagazine.co.uk

share this article share this article on Facebook share this article on Tiwtter share this article on LinkedIn